1899 tv series sinhala review
1899 සහ ප්ලේටෝගේ ගුහා දෘෂ්ටාන්තය (Plato’s Cave Allegory) 🜃
2022 වසරේ, වැඩි හයිප් එකක් තිබුන ෆිල්ම් සීරීස් අතරේ ප්‍රමුඛත්වයක් දෙන්න පුලුවන් ටීවී සීරීස් එකක් තමයි Netflixලගෙන් එළි දැක්වුනු, 1899 කතා මාලාව. මේ කතා මාලාව ගැන දැනුම් දීපු දවසේ ඉඳන් ම මේ ගැන වැඩි හරියක් කතා වෙන්න හේතුව උනේ මීට කලින් මේ වගේම ටිවි සීරීස් ලෝකය උඩු යටිකුරු කරන්න සමත් උනු Dark කතා මාලාවේ නිර්මාණකරුවන් වුනු Baran bo Odar සහ Jantje Friese අතින් 1899 කතා මාලාවත් නිර්මාණය වෙන බව හෙළි වීමත් සමගයි.
දින සති ගැන ගැන ඉඳලා ඔන්න නොවැම්බර් 17 වෙනිදා කතා මාලාවේ කතාංග 8ම නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගත උනා. පෞද්ගලිකව මට, ඒ තිබුන හයිප් එක තරම් ම කතා මාලාව නැති උනත්, ඒ හා සමාන කුතුහලයක්, ප්‍රශ්න කන්දරාවක් වගේම ලොකූ ප්ලොට් ට්විස්ට්ස් තොගයක් ම ඉතුරු කරලා පලවෙනි කතා සමය අවසන් උනේ දැන් ඉතින් දෙවෙනි සීසන් එක එනකන් ඉන්න වෙනවනේ කියන අදහසත් හිතේ ඉතුරු කරගෙන.
XX SPOILERS XX
කතාවේ මූලික අංග ටික හැම තැනම වගේ කතා වෙන නිසා මම මෙතනදි ඒ දේවල් ගැන ආයෙ කියන්න යන්නේ නැහැ. බලපු අය දන්නවනෙ සරලවම කතාවෙ මොනවද වෙන්නේ කියලා. වචනෙකින් කිව්වොත් මුලු කතාවම simulation එකක්. එහෙමත් නැත්තන් ‘මවාගත්තු’ යථාර්ථයක්. ඇත්තටම 2099 වසරේ, Promtheus කියල spaceship එකේ හිටියට simulation එක ඇතුලෙදි මේ චරිත හැමෝම ඉන්නේ 1899 වසරේ, Kerberos කියන මගී නෞකාවක් ඇතුලේ. ආරම්භයෙ ඉඳන් ම ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න පෙන්නපු සීරිස් එක අවසන් උනේ හිතුවෙවත් නැති චරිතයක්, ඒ කියන්නේ Maura Franklinගෙ සහෝදරයව හඳුන්වල දීලා.
මේ මුළු කතා සමය පුරාටම අපිට විවිධ න්‍යායන්, විෂයන් සහ දර්ශනවාදී අදහස් දකින්න ලැබුනා. එයින් එකක් තමයි අපිට විටින් විට අහන්න ලැබුනු Plato’s Cave Allegory / Plato’s Allegory of the Cave, එහෙමත් නැත්නම් ප්ලේටෝගේ ගුහාවේ දෘෂ්ටාන්තය.
🜃 1899හි කියවුනු ප්ලේටෝගේ ගුහා දෘෂ්ටාන්තය 🜃
කතා මාලාවේ 7 වෙනි කතා සමයේ Mauraගේ ස්වාමියා වන Daniel තමයි මුලින්ම මේ ගැන කියන්නේ. ඔවුන් දෙදෙනාගේ නිවස සහ එහි තිබුනු ඡායාරූප දකින Mauraට ඔහු පවසනවා ඇගේ හිතේ වේදනාවන් වලින් පලායන්න මේ හැමදේම ඇය විසින් ම නිර්මාණය කළ ලෝකයක් වග.
තවත් ඔහු Mauraගේ ම න්‍යායක් මෙතනදි පවසනවා. ඒ කියන්නේ අපේ මොළේ ඇති වෙන උත්තේජන යථාර්ථයෙන් ඇති වෙනවද නැත්නම් කෘතිම මූලාශ්‍රයකින් හැදෙනවද කියන එක අපි කවදාවත් දන්නේ නැති බව. මෙතනදි තමයි ඔහු Plato’s Cave Allegory කියන න්‍යාය පෙන්වලා දෙන්නේ. ඔහු එය භාවිතා කරනවා ඔවුන් ඇත්තටම ඔවුන්ගේ මනසට නිර්මාණය කරපු සහ ඇතුළත් කරපු කෘතිම ඡායාවන් දිහා බලන් ඉන්න බවත්, ඒකෙන් මිදිලා අවදි වීමේ දැඩි අවශ්‍යතාවය සහ අවදි නොවූවොත් ඇගේ මනස මෙතනම අතරමන් වෙන බවත් ඇයට තේරුම් කරවීමට.
තව තැනක, ඒ කියන්නේ 8 වෙනි කතා සමයේදි Henry සහ Elliot (Mauraගේ පුතා) අතර සිද්ධ වෙන කතාබහකදී Henry පවසනවා Elliotව ජීවතුන් අතර තබාගැනීම වෙනුවෙන්ම Maura විසින් නිර්මාණය කරපු ලෝකෙක ඔවුන් හිරවෙලා ඉන්න බව. ඔහු මෙතනදි මතක් කරනවා Maura කුඩා කාලයේදී ඔහුගේ කාර්යාලයෙන් Plato’s Cave Allegory පිළිබඳ විස්තරයක් සොයාගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කල බව. ඒත් එක්කම ඇය ඒ පිළිබඳව විශාල ඇල්මක් දැක්වූ බවද ඔහු පැවසුවා.
මේ න්‍යාය එහෙන් මෙහෙන් කියවුනාට මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කොතනකවත් හමු උනේ නැහැ. ඉතින් මේ කියන්න යන්නේ මේ න්‍යාය ගැන සහ ප්ලේටෝගේ මේ ගුහා න්‍යාය 1899 කතාමාලාවට සම්බන්ධ වෙන විදිහ ගැනයි.
🜃 මොනවද මේ Plato’s Cave Allegory කියන්නේ? 🜃
ප්‍රසිද්ධ ග්‍රීක දර්ශනවාදියෙක් වුනු ප්ලේටෝ සඳහන් කරන ආකාරයට ‘ඉර’ කියන්නේ නිකන් ම නිකන් ආලෝකය පතුරවන වස්තුවක් නොවන වගත්, ලෝකයේ යහපැවැත්ම පවත්වාගෙන යාමේ මූලික ම අංගයයි. අපිට අවශ්‍ය ‘ආලෝකය’ ලැබුනේ නැත්නම් අපේ දෘෂ්ටිකෝණය වෙනස් වීම සහ එයින් අපේ ජීවන චක්‍ර්‍ය ද බලපාන බවට ඔහු සඳහන් කලා.
ඉතින් මේ ගුහා දෘෂ්ටාන්තයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද. ගුහා දෘෂ්ටාන්තයේදී ප්ලේටෝ මෙහෙම සිද්ධියක් විස්තර කරනවා. ඔයාලට තේරෙන්නත් එක්ක මම පුළුවන් තරම් සරල කරලා කියන්නම්.
මිනිසුන් කණ්ඩායමක්, දීර්ඝ කාලයක් තිස්සේ, ගුහාවක් මැද, එක තීරුවක ඉන්දවලා අත් කකුල් විලංගු වලින් බැඳලා තියනවා කියලා හිතන්න. ඔවුන්ගේ බෙල්ලත් හරවන්න බැරි විදිහට බඳිනව. ඒ කියන්නේ මෙයාලට ඉස්සරහ තියෙන ගුහාවේ බිත්තිය දිහා විතරයි බලන්න පුලුවන්. මේ කණ්ඩායමට පිටිපස්සේ තියෙනවා ගිනි මැලයක්. ඒත් එක්ක මේ ගිනි මැලය සහ මිනිසුන් කණ්ඩායම අතර මැද තියෙනව පොඩි බිත්තියක්. මේ බිත්තියට පිටිපස්සට එන තවත් මිනිසුන් කණ්ඩායමක් එක එක රූප වලින් රූකඩ සංදර්ශනයක වගේ රූප මවනව කියලා හිතන්න. එතකොට අර ගිනි මැලයෙන් වදින ආලෝකයෙන් මේ රූප වල සෙවනැලි වැටෙන්නේ අර ගැට ගහල ඉන්න මිනිසුන් බලන් ඉන්න බිත්තිය මතට. ඔවුන් දන්නේ නැහැ ඔවුන් පිටිපස්සේ ගිනි මැලයක්, බිත්තියක් හෝ රූකඩ තිබෙන බව. ඔවුන් ලෝකය විදිහට මවාගන්නේ අර පේන හෙවනැලි සහ ඔවුන්ට ඇහෙන ශබ්ද විතරයි. උදාහරනයක් වශයෙන් කෙනෙක් කුරුල්ලෙක් ගෙ රූකඩයක සෙවනැල්ල පෙන්නලා මෙක කමිසයක් කිව්වොත් ඒ කණ්ඩායමේ මිනිසුන් ඒක විශ්වාස කරනවා. මොකද එයාලා 1. ගුහාවේම ඉන්න නිසා පිටත ලෝකේ කමිසයක් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. 2. ඔවුන්ට පේන්නේ නැහැ ඇත්තටම ඒ කමිසයක් ද කියලා මොකද ඔවුන්ට පිටිපස්ස හැරිලා බලන්න බැහැ. ඉතින්, සරලවම, මේ මිනිසුන් කණ්ඩායම විශ්වාස කරන්නේ මේ හෙවනැලි සහ විටින් විඅ ඇහෙන ශබ්ද තමා සත්‍ය ලෝකය කියලා.
ප්ලේටෝ මෙතනින් නවතින්නේ නැහැ. ඔහු කියනවා, මේ බැඳල තියපු මිනිසුන් කණ්ඩායමෙන් කෙනෙක් ව නිදහස් කරලා, පිටත ලෝකෙට යන්න හැරියොත්, ඔහු අර ගුහාවේදී සත්‍ය ලෝකය කියලා හිතාගෙන හිටියේ ඇත්තටම මායා දෘෂ්ටියක් (illusion) කියලා වටහාගන්න අවස්ථාවක් ලබා දුන්නොත්, ඔහු එය බොහෝ වෙලාවට ප්‍රතික්ෂේප කරන බව. මොකද ඔහු, තමන් ට මතක කාලේ ඉඳන් ම යථාර්ථය කියලා හිතාගෙන හිටපු ගුහාව අතාරින්න ඔහු කැමති වෙන්නේ නැහැ. නමුත් ඔහුව බලහත්කාරයෙන් පිටත ලෝකයේ ජීවත් වෙන්න සැලැස්වුවොත්, සහ එයින් ඔහුට ආලෝකය ලබාදෙන ස්වභාවික මූලය වෙන හිරු හඳුන්වා දුන්නොත්, අන්න ඒ වෙලාවෙදි තමා ඔහු තේරුම් ගන්නේ තමන්ගේ මනසට සැපපහසු හැඟීම් ඇත්තටම මායාවක්(illusion) විය හැකි බව. නමුත් මුලින් දෑස් වලට අමාරු වන හිරු එළිය, මුලින් පිළිගන්න අපහසු උනත්, ඔහු වටා තියෙන සත්‍යය(reality) එය බව.
ඉවර නෑ! මෙතනත් නොනැවතී ප්ලේටෝ කියනවා, ඒ නිදහස් කෙරුනු මිනිසා නැවතත් අර ගුහාව තුළට අපි යැවුවොත්, ඔහු අනිවාරෙන් අනිත් මිනිසුන් ව ඔහුගේ අත්දැකීම් වලින් දැනුම ලබාදෙන්න උත්සහ කරනවා. ඔවුන් විශ්වාස කරන දේ ඇත්ත නොවන බවත්, එය හුදෙක් මායාවක් බවත්, ඔවුන් නොදන්නා බොහෝ දේ මේ ගුහාවේ බිත්තියට එහා පිටත ලෝකයේ තිබෙන බවත් ඔවුන්ට තේරුම් කරවන්න ඔහු ලොකූ උත්සහයක් ගන්නවා. නමුත් ඔහු ගුහාව තුළට ඇතුළු වීමත් සමගම එහි අන්ධකාරය නිසා ඔහුට නැවත අපහසුතාවයක් ඇති වෙනවා. (ඔහු මුලදී හිරු එළියට අනාවරණය වීමේදී උනා වගේ) ඉතින් ගුහාවේ සිටින අනෙක් අය හිතන්නේ මේ ඔහු පිටත සිටීම නිසා ඒකෙ ප්‍රතිඵලයක් කියලා. ඔන්න ඕක නිසා ඔවුන් තීරණය කරනවා කවදාවත් ගුහාවෙ පිටතට නොයා යුතු බවත්, පිටතින් කෙනෙකු තම ගුහාවට ඇතුල් කරගත නොයුතු බවත්, ඔවුන්ගේ මේ ගුහාව තමා සත්‍ය ලෝකය බවත්.
(ලිං මැඩියෝ කන්සෙප්ට් එක මතක් උනා නම් මේක තේරුම් ගන්න ලේසි වෙයි!)
මේ තියෙන්නේ ප්ලේටෝ ගේ ගුහා දෘෂ්ටාන්තය සරලව පෙන්නන පින්තූර කිහිපයක්. (කමෙන්ට් වල ඇති පින්තූර 1,2,3)
මේ මහා සන්දේශයෙන් ප්ලේටෝ කියන්න අදහස් කරන්නේ මෙච්චරයි. අපි වටා සිද්ධ වෙන දේවල් වලින් සත්‍ය මොනවද මායා දෘෂ්ටියන් මොනවද කියන එක ගැන තේරුම් ගැනීම සඳහා දාර්ශනික සහ විද්‍යාත්මක තේරුම් ගැනීමේ හැකියාව කෙනෙක්ට තිබීම අත්‍යවශ්‍ය බවයි. අපි ජීවත් වෙන මේ ලෝකේ, Reality සහ fiction, එහෙම නැත්නම් යථාර්ථය සහ ප්‍රබන්ධය යන දෙක බෙදෙන්නෙ හරිම සියුම් රේඛාවකින්. මේ රේඛාව තේරුම් ගන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා නම්, මොන තරම් විකෘති අදහස් සහ අත්දැකීම් වලට මුහුණ දුන්නත් එහි ප්‍රත්‍යක්ෂබාවය තේරුම් ගැනීම ඔබට අපහසු වෙන්නේ නැති බව ප්ලේටෝ ගේ අදහසයි.
🜃 දැන් අපි බලමු ප්ලේටෝ ගෙ මේ ගුහා න්‍යාය 1899 කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. 🜃
තව ඉස්සරහට කියන්න කලින් මම මේක කියන්නම්, අපි මේ කතා කරන්නේ Baran bo Odar සහ Jantje Friese ගැන නිසා, නිශ්චිතවම මෙහෙමයි කියලා කියන්න නම් බැහැ! ඒත් පෙනෙන දේවල් එක්ක මෙහෙම වෙන්න ඇති කියලා විතරයි කියන්න පුළුවන්. ඉතින් අපි බලමු.
කතා සමය අවසානයේදී අපි දකිනවා Maura Franklinගෙ සහෝදරයා වන Ciaran මේ simulation එක මෙහෙයවන මහමොළකාරයා බව. Mauraගේ පියා Henry වගේම Ciaranත් මේ කරන්නේ Behavioural Modulation එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ‘චර්යා මාපකරණය’. මිනිසුන් වැඩි කාලයක් simulation එකක තබාගැනීමෙන් ඔවුන්ට එය තමා ‘යථාර්ථය’ කියන විශ්වාසය ඇති කරවන්න පුළුවන් බව ඔහුගේ විශ්වාසයයි. ඉතින් ඔවුන් මේ සිමියුලේශන් එක ඇතුලේ ඉඳිද්දි ඔහු පොඩි පොඩි අත්හදාබැලීම් කරනවා ඔවුන්ගේ ජීවත් වීමේ අරගලය තහවුරු කරවන්න. මේකට ඔහු එකිනෙකාගේ අතීත සිදුවීම් භාවිතා කරනවා. මෙයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ එයාලව මේ simulation එකෙන් පිටට ගෙනෙන අවස්ථාවේදී එයාලත් එක්ක අදහස් හුවමාරු කරගන්න පහසු වෙයි කියන දේ වෙන්න පුළුවන්. තම තමන්ගේ පෞරුෂයේ සහ ජීවිතයේ මුහුණ දුන් කඩා වැටීම් මතක් කරවන්න වෙන්න පුළුවන්.
Ciaran මෙයාලව මේ සිමියුලේශන් එකෙන් පිටතට ගෙනෙයිද කියලා සැකයක් මතුවෙන්න පුළුවන්. කොහොම උනත් Prometheus කියන අභ්‍යවකාශ මෙහෙයුමක මේ හැමෝම ඉන්න නිසා අනිවාරෙන් ඔහුට ඒ දේ කරන්න වෙනවා. එතකොට මෙයාලා මේ සිමියුලේශන් එක ඇතුලට ගියේ කොහොමද? ඔයාලා The Matrix බලල ඇති නේ. මම හිතන්නේ, ඒකෙදි වගේම, මෙතනත්, මොවුන් මේ සිමියුලේශන් එක රැස්වීම් වලට වගේම කාලය ගත කරන්න භාවිතා කරන්න ඇති. මොකද ඒ spaceship එකේ විශාලත්වයෙ හැටියට pool table එකක් වගේ දාන්න තැනක් නෑ නේ! ගොඩක් දුරට මේ සිමියුලේශන් එක Ciaran හැක් කරලා ඔහුට අවශ්‍ය දේ කරගන්නවා විය හැකියි.
🜃 ඇත්තටම Ciaran කතාවේ දුෂ්ටයා ද? 🜃
මේ වෙනකන් මම කියපු දේවල් වලින් Ciaran තනිකර නපුරු දුෂ්ට චරිතයක් වගේ පෙනිලා ඇති කියලා සැකයක් නැහැ. නමුත් ඇත්තටම ඔහු කරන්න හදන්නේ හොඳ දෙයක් නම්? මෙ මිනිස්සුන්ට උදව්වක් කරනවා නම්? ප්ලේටෝගේ ගුහා දෘෂ්ටාන්තය ඔහු ධනාත්මක විදිහට භාවිතා කරනවා නම්? ඒ කොහොමද?!
අපි දැක්කා ප්‍රධාන චරිත හැමෝම වගේ මොනව හරි විදිහකින් කම්පා සහගත අතීත සිදුවීමකට මුහුණ දීපු අය. ඉතින් Ciaran මේ සිමියුලේශන් එක භාවිතා කරලා ඔවුන්ට ඒ සිදුවීම් වලට මුහුණ දෙන්න, ඒ trauma එකෙන් මුදවගන්න, ඔවුන්ගේ පෞරුෂයේ ගැටළු නිරාකරණය කරගන්න උදව් වෙනවා වෙන්න පුළුවන් නේද? අපි කතාවේ ප්‍රධානම චරිතෙ වෙන Maura Franklinව ගමු. අපි දන්නවා ඇය ඇත්තටම හුඟක් බිඳිච්ච හදවතක්, ලොකු වේදනාවක් දරාගෙන ඉන්න කෙනෙක්. ඇයගේ කතාව හරියටම අපිට දැනගන්න බැරි උනත්, බොහෝ දුරට ඇයට තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ පුතා, එහෙම නැත්නම් දෙන්නම අහිමි වෙලා තියෙනව වෙන්න පුළුවන්. ඇය අවසානයේදී අහනවා Danielගෙන් ඇය ඇහැරෙද්දි ඔහු ඉන්නවද කියලා. අනිවාරෙන් ඉන්නවා කියලා Daniel කිව්වත් අපිට ඔහුව දැකගන්න හම්බෙන්නේ නැහැ. එතනදි අපිට දුන්නේ ව්‍යංගාර්ථයක් වෙන්නත් හැකියි. ඉතින් තමන්ගේ ආසන්නම බැදීමක් නැති උන Maura, ඒ හැඟීම් වලින් මිදෙන්න මේ සිමියුලේශන් එකේදි කල් ගත කලා වෙන්න පුළුවන්. ඒත් ප්ලේටෝ ගේ න්‍යායයට අනුව illusion එකකදි අපි කාලය ගත කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න යථාර්ථය පිළිබඳ අපිට තියෙන අවබෝධය ගිලිහෙනවා. ඉතින් Maura වැඩි කාලයක් මේ සිමියුලේශන් එක අස්සෙ ඉන්න එක ඇයගේම ජීවිතයට සහ මනසට හානියක් වෙන බව තේරුම් ගත්තු Ciaran, ඇයට ඇගේ අහිමි වීම් පහදල දෙන්න මේ සිමියුලේශන් එක භාවිතා කරනවා වෙන්න පුළුවන් නේද? මොකද ගොඩක් දුරට මේක Mauraට තේරුනොත්, ඇගේ අහිමිවීම් සදාකාලිකයි කියන එකත් ඒව වෙනස් කරන්න බැරි බවත් ඇයට වැටහුනොත්, ඇයට ජීවිතය ආයෙමත් ගොඩ නගාගන්න පහසු වේවි.
අපි දකිනවා Daniel සහ Elliot ඇයව ඇහැරවන්න ලොකු උත්සහයක් ගන්නවා. ඉතින් Maura ගේ මනසේ (psyche), ඇගේ වේදනාවෙන් මුදවන්න උදව් වෙන කොටස විදිහට මේ දෙන්නව දක්වන්න පුළුවන්. නමුත් මේ දේවල් තමයි ඇගේ යථාර්ථය කියලා ඇයව විශ්වාස කරවන්න හදන ඇගේ මනසේ කොටස Henry විසින් විදහා දක්වන බවට හිතන්න පුළුවන්.
මේ දේවල් කොයි තරම් දුරට හරිද කියලා කියන්න දන්නේ නැහැ. දැනට බලපු එපිසෝඩ්ස් වල සිදුවීම් වලින් සහ, ඔවුන් ම දීපු Plato’s Cave Allegory කියන කන්සෙප්ට් දෙක සම්බන්ධ කරාම ලිහාගන්න පුලුවන් ගැට ටිකක් විතරයි. මේව හරි වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. ඒ මොනවා දැනගන්නත්, සීසන් 2 එනකන් ඉන්න වෙනවා.
මම මේ සීරීස් එකේ ආසම කියමනක් තියෙනවා.
‘We are born into this world either a seeker or an avoider. To be an avoider is pure bliss. To be a seeker, on the other hand, brings nothing but pain.’
‘අපි මේ ලෝකෙට ඉපදෙන්නේ, එක්කෝ සොයන්නෙකු ලෙස, නැත්නම් මඟහරින්නෙකු ලෙස. මඟහරින්නෙක් වීම තනිකරම දිව්‍ය සැපතක්. ඒත් අනෙක් අතට, සොයන්නෙකු වීම අපිට ඉතුරු කරන්නේ මහා වේදනාවක් විතරයි.’
කොච්චර වේදනාකාරී උනත්, සොයන්නෙකු වෙන්න. මේ ලෝකේ දැනගන්න හුඟක් දේවල් තියෙනවා😉
✍️Admin: Afi Aiza • ශ්‍රී කොම්
#SriCOM #1899Netflix #Review

Comments
Post a Comment