Creeper monster Sinhala




ඔන්න පහුගිය ටිකේ ලිපි මාලාවක්ම අරගෙන ආපු Movie monsters ලගෙ ඊලඟ Monster ගැන විස්තරේ අරගෙන තමයි මේ ආවේ. අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ 2000 ගණන් වල අපි හැමෝම භීතියට පත්කරපු බොහොම පෞරාණික මෘගයෙක් ගැනයි. ඒවගේම සිනමාවේ දකින්න ලැබුන පැරණිම Serial Killer විදියට උනත් මෙයාව හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ කෙනා තමයි Jeepers Creepers සිනමාපට මාලාව තුල හමුවෙන යක්ෂයෙක් වන් මෘගයා වෙන Creeper. මෙයාගැන කියන්න විස්තර ගොඩක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලම මේ Creeper කියන්නෙ කවුද කියලා හැඳින්වීමක් කරලා මේ විස්තරේ පටන්ගන්නම්.


“It eats lungs so it can breathe, and eyes so it can see. It all becomes a part of it. Whatever it eats, becomes a part of it." „


~ Jezelle Gay Hartman


සරලවම Creeper කියන්නෙ අවුරුදු 23 කට වතාවක් අවදිවෙලා මහා මිනිස් සංහාරයක් කරලා නැවතත් නින්දට යන බිහිසුණු පෞරාණික මෘගයෙක්. මෙයාගේ පෙනුම සහ මෙයා සතුව තිබෙන අස්වාභාවික බලයන් සහ හැකියාවන් නිසාම මෙයාව Demonic monster කෙනෙක් විදියටත් හඳුන්වනවා. අවුරුදු 23 කට වතාවක් අවදිවෙලා දවස් 23 ක් පුරාවට මිනිසුන් දඩයම් කරන Creeper තමන්ට ගොදුරුවෙන මිනිස්සුන්ගේ අවයව ආහාරයට ගන්නවා. මෙයාගෙ හැකියාව තමයි මෙයා ආහාරයට ගන්නා ඕනම මිනිස් අවයවයක් පසුව මෙයාගෙම කොටසක් බවට පත්වීම. ඒ කියන්නෙ Creeper ගේ දඩයමක් අතරතුරේදි සිද්ධවෙන අනතුරකින් ඇහැක් අහිමි උනා කියලා හිතමු. ඔන්න මෙයා අල්ල ගන්න ගොදුරක ඇහැ ආහාරයට ගත්ත ගමන්ම ඒ ඇහැ මෙයාගෙ කලින් තිබුන ඇහැ වෙනුවට ඒ ස්ථානයට ඉබේම එකතු වෙනවා. මේ විදියට තමන්ගෙ හරිහැටි ක්‍රියා නොකරන හදවත, පෙනහලු, මොලය වගේ ඕනම ඉන්ද්‍රියක් මිනිස් ගොදුරක ඒකට ගැලපෙන ඉන්ද්‍රියක් ආහාරයට ගැනීම මගින් replace කරගන්න පුලුවන්. ඉතින් මෙහෙම වැඩකරන්නෙ නැති ඕනම ඉන්ද්‍රියක් ආයෙම ලබාගන්න පුලුවන් කම තිබෙන නිසාම Creeper මිනිසුන්ව දඩයම් කරනා තාක් කල් ඌ අමරණීය කෙනෙක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒවගේම මෙයා නිදාගන්න වසර විසි තුනක කාල වකවානුව අතරතුරේදිත් මෙයාගේ ශරීරයට කිසිම ආකාරයක හානියක් කරන්න බැහැ.


පෙනුම ගත්තම Creeper නිතරම විශාල කලු කෝට් එකක් ඇඳගෙන තොප්පියක් පැලඳගෙනයි ඉන්නෙ. මේ විදියට අඳින්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි Creeper ගේ වවුල් පිහාටු වන් සමින් සැදුනු දැවැන්ත පිහාටු දෙක. සාමාන්‍යයෙන් එලිපහලියට බැහැල මිනිස්සු දඩයම් කරද්දි මේ පිහාටු දෙක පහසුවෙන්ම පෙනිලා මිනිස්සු කලබල වෙන්න පුලුවන් නිසා ඒ දෙක වැහෙන විදියට තමයි කෝට් එක අඳින්නෙ.එතකොට Creeper ට තියෙන්නෙ බිහිසුණු උරගයෙක් වන් විකෘති මූණක්, තියුණු දත් සහ සුදුපාට විකාරරූපී කොණ්ඩයක් නිසා ඒවා මිනිස්සුන්ට පෙනිලා සැක නොහිතෙන්න තමයි තොප්පියක් දාගෙන ඉන්නෙ. ඒවගේම දවල්ට මේවගෙන් උනත් මහලොකු වෙස් මාරුවක් වෙන්නෙ නැති නිසා Creeper ගොඩක් වෙලාවට මිනිසුන් පිරිසක් ගැවසෙන ස්ථානවලට එන්නෙ රාත්‍රියට විතරයි. දවල්ට එහෙම එලියට එනවනම් එන්නෙ තමන්ගේ ගොදුර තනි උන අවස්ථාවකදි විතරයි. 


Creeper ගේ ඉතිහාසය ගත්තොත් මෙයා ශතවර්ෂ ගණනාවක් පුරාවට නොනැසී ජීවත් උන අමරණීය ජීවියෙක් විදියට තමයි සැලකෙන්නෙ. වසර 23 කට වතාවක් භීෂණය වපුරවලා ආයෙම කිසිම සාක්ශියක් නොමැතිව අතුරුදහන් වෙන මෙම මෘගයා පුරාණ ඇස්ටෙක් ශිෂ්ඨාචාරය පවතින අවධියේදී දෙවියෙකු සහ යක්ශයෙකුගේ සම්මිශ්‍රණයක් ලෙස පෙනී සිටිමින් මිනිස් බිලිපූජාවන්ද ලබාගත් බව සඳහන් වෙනවා ( මේ කතාව තියෙන්නෙ Jeepers Creepers: Trail of the Beast කියන comic එකේ ) ඇස්ටෙක්වරු ඔහුව ඔවුන්ගේ සර්ප දෙවියන් Quetzelcoatl ලෙස විශ්වාස කළ අතර, ඔහු ඔවුන්ගේ එක් චාරිත්‍රයක් අතරතුර පූජා කරන ලද මිනිස් හදවතක් පිළිගෙන අනුභව කරන ආකාරය මේ comic එකේදි විස්තර කර දක්වනවා. ඉන්පසුව සුදු ජාතීන් ඇමෙරිකානු මහද්වීපයට සංක්‍රමණය වූ මුල්ම කාලයේ 1580 ගණන්වල අගභාගයේදී සිදු උන රොනෝක් ජනපදිකයන් අතුරුදහන් වීමට මෙන්ම 1962 දී පෙන්සිල්වේනියාවේ Centralia හි පතල් ගින්න ආරම්භ කිරීමට ඔහු වගකිව යුතු බව සඳහන් වෙනවා. කොහොම නමුත් වසර 23 කට වරක් ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වලින් මහා විනාශයන් සහ පුද්ගල අතුරුදහන් වීම් රාශියක් වාර්තා වී ඇති නමුත් එයට වගකිවයුතු අයෙක් සොයාගත නොහැකි වී ඇති අතර ඒ සියල්ලම Creeper ගේ හපන්කම් විදියට සලකන්න පුලුවන්.. ඔහු ව්සින් ඇතැම් අවස්ථාවලදි අත්වැරදීම් වලින් ශිෂ්ඨාචාරයන් පිටින් ම සහමුලින්ම ලෝකයෙන් අතුගා දැමුවත් ඒ ගැන කිසිම ආකාරයකින් අනුකම්පාවක් නොපෙන්වා ඇති බවත් කියන්න ඕන.. ඒවගේම Comic වලට අනුව Creeper ට ගොදුරු වූවන්ගේ අවයව ඔහු තුලම ජීවමානව පවතින ආකාරයටම ඔවුන්ගේ ආත්මයන්ද Creeper තුලම සිරගතවී පවතින බව සඳහන් වෙනවා.. තේරෙනවනෙ මුට අහු උනා කියන්නෙ මැරිලා වත් සැනසීමක් නම් ලැබෙන්නෙ නැහැ..


Creeper ගේ ස්වභාවය ගත්තම මෙයා ටිකක් විතර විකෘති මානසිකත්වයකින් ඉන්න කෙනෙක් විදියට සලකන්න පුලුවන්. මොකද මෙයත් සමහර දරුණු දාම ඝාතකයින් කරනවා වගේ තමන්ගේ ගොදුර මැරීමට පෙර එයත් එක්ක සෙල්ලම් කරන්න පෙලබෙන කෙනෙක්. ගොදුරට මරණ බය දනවලා ගොදුර පලායන්න සලස්වලා අල්ලගන්න Creeper කැමතියි. ගොදුරු බියපත් කරලා ඒ ගොදුරු වලින් පිටවෙන භීතියේ සුවඳ ආග්‍රාණය කරන්න Creeper විශාල කැමැත්තක් දක්වනවා. ඒවගේම අවශ්‍ය අවස්ථාවකදි මරණීය තුවාල මධ්‍යයේ පවා තමන්ගේ ගොදුර පසුපස හඹායන්න මේ බිහිසුණු මෘගයා පැකිලෙන්නෙ නම් නැහැ. තමන්ගේ දින 23 චක්‍රය අවසන් වනවිට ඊලඟ වසර 23 නින්දට අවශ්‍ය වෙන ආකාරයට මිනිස් අවයව කොටස් ආහාරයට අරගෙන ශරීරය සූදානම් කරගන්න අවශ්‍ය නිසා මේ අවසන් දවස් කිහිපයේදී ඉතාම ආක්‍රමණශීලීව ගොදුරු දඩයම් කරන්න Creeper පෙලඹෙනවා. 


පලවෙනි ෆිල්ම් එකේදි අපිට Creeper ව දකින්න ලැබෙන්නෙ එයාගේ දවස් 23න් මුල් දවස් කිහිපයේදී. නැගිට්ට ගමන් ටිකක් සන්සුන් විදියට හැසිරෙන මෙයා බොහොම සූක්ෂමව මිනිසුන් ගොදුරුකර ගන්නා ආකාරය වගේම සින්දු අහමින් ගොදුරු වලින් විවිධ නිර්මාණ කරන ආකාරය පවා අපිට දැකගන්න හැකියාව ලැබෙනවා. හැබැයි දෙවෙනි ෆිල්ම් එකේදි දකින්න ලැබෙන්නෙ දවස් 23 ගෙවීයන්න ආසන්නයේ ඉන්න Creeper වයි. අන්න ඒ නිසයි පලවෙනි එකේදි නොදැකපු නොඉවසිලිමත් ආක්‍රමණශීලී ගතියක් Creeper පෙන්වන්නෙ. ඒ අනුව කලින් වගේ ගොදුරුවලට පැනලා යන්න දිදී උන් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා වෙනුවට තමන්ට අවශ්‍ය ගොදුර තෝරාගන්න විතරක් කාලය ගනිමින් ක්ශණිකව මිනිසුන් කිහිප දෙනෙක්ම දඩයම් කරන ආකාරය දැකබලාගන්න පුලුවන්. 


තමන්ට ගොදුරු වන්නන්ගේ බිය, විනෝදය, කෝපය, වේදනාව වැනි හැඟීම් තේරුම් ගන්නා බවක් Creeper ගෙන් දකින්න ලැබුනත් ගොදුරකට නම් කිසිම අනුකම්පාවක් ලැබෙන්නෙ නැහැ. ගොඩක් වෙලාවට තමන්ගේ ගොදුරු වල කොටස් විදියට සං‍රක්ෂණය කරලා බිත්තිවල කුසලාන වගේ එල්ලා තබන්න මොහු කටයුතු කරනවා. මේවා බොහෝ කලක් සං‍රක්ෂණය කරගැනීමේ කිසියම් සාර්ථක ක්‍රමවේදයට් මෙයා සතුව තියෙනවා. ඒවගේම මිනිස් ශරීර කොටස් යොදාගෙන සුවිශේෂී ආයුධ නිර්මාණය කිරීමේ හැකියාවක් පවා මෙයාට තියෙනවා. ගොඩක් වෙලාවට මේ ආයුධ වලට විවිධ සැරසිලි එකතු කරන්න පවා Creeper කටයුතු කරනවා. පලවෙනි ෆිල්ම් එකේදි Creeper ට අහු උන Darry ගෙ කොටස් වලින් විසිකර පහර දෙන්න පුලුවන් තරුවන් වන් හැඩයක් ඇති ආයුධයක් නිර්මාණය කරද්දි එයට Darry ගේ belly button එක ( බුරිය කොටස ) එකතු කිරීම උදාහරණයක් විදියට ගන්න පුලුවන්..


බොහොම පැරණි ජීවියෙක් උනත් මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් එක්ක භාවිතාවන නවීන අවි ආයුධ ගැන පවා බොහොම හොඳ අවබෝධයක් Creeper ට තිබෙන බව පේන්න තියෙන කරුණක්. මොකද පොරට වාහනයක් පවා බොහොම පලපුරුදු රියදුරෙක් වගේ එලවන්න පුලුවන්. සමහරවිට මේ දැනුම Creeper ආහාරයට ගන්න මිනිස් ගොදුරුවලින්ම ලැබුන දෙයක් වීමේ හැකියාවක් තියෙනවා.  


Creeper සාමාන්‍යයෙන් බොහොම ඉවසිලිවන්තව දඩයම් කිරීමට කැමැත්තක් දක්වන කෙනෙක්. ගොඩක් වෙලාවට වෙස් වලාගනිමින්, සැඟවෙමින් තමන්ට ගැලපෙන ගොදුර තෝරාගැනීමට කල් මරන Creeper පසුව ඒ ගොදුර තනිකර ගැනීමට සහ උගුලකට හසුකර ගැනීමට සූක්ශමව ක්‍රියා කරන ආකාරය දකින්න ලැබෙනවා. එහෙම නැතුව ඉවක් බවක් නැතුව දඩයමේ යෙදෙන්නෙ මම කලින් කිව්වා වගේ දවස් 23 ඉවර වේගෙන යද්දි පමණයි. 


තවත් විශේෂ කාරණාවක් තමයි, තරමක් සිත් පිත් නැති සහ නපුරු කෙනෙක් උනත් Creeper මිනිසුන් අසීමිත ලෙස මරා දමන බවක් පේන්නෙ නැහැ. ඔහු තෝරා ගන්නා පුද්ගලයින් පසුපස පමණක් ගොස් ඉතිරි අයව ඉතිරි කරනවා. එක්කෝ සියල්ලන්වම මරාදමන්න යෑම කාලය නාස්තියක් සහ ශක්තිය අපතේ යාමක් ලෙස සිතීම හෝ අනවශ්‍ය ලෙස මිනී මැරීමට අකමැති වීම මෙයට හේතු වෙන්න පුලුවන්, නමුත් පලමුවෙනි ෆිල්ම් එකේ ඉන්න Jezelle Gay Hartman කියන විදියට Creeper ට කෙනෙක්ගේ සුවඳට ආකර්ශණය උනාට පසුව එම ගොදුර ලබාගන්නා තෙක් ඔහුව නවත්වන්න කිසිම ආකාරයක හැකියාවක් නැහැ. 


ඒවගේම අවශ්‍ය තරම් අධිෂ්ඨාන ශක්තියක් තියෙන කෙනෙකුට Creeper ට අවශ්‍ය වෙන විදියට විරුද්ධ ආකාරයට තමන්ගේ බිය දුරුකර ගැනීමේ හැකියාවක් පවතින බවත් එයට Creeper අකමැති බවත් තුන්වෙනි ෆිල්ම් එකේදි දකින්න ලැබෙනවා. ඇතැම් විට එහෙම අධිෂ්ඨානයක් තියෙන කෙනෙකු මරාදැමුවද ඔහු තුල මියයන අවස්ථාවේ පවා බිය කියන හැඟීම නොතිබීම නිසා Creeper එවන් ගොදුරක අවයව ආහාරයට ගැනීමට පෙලඹෙන්නෙ නැහැ. 


ඒවගේම තුන්වෙනි ෆිල්ම් එකේ පෙන්නන විදියට Creeper තමන්ගේ බය හිතෙන පෙනුමක් ඇති ට්‍රක් එකටද ලොකු කැමැත්තක් දක්වන ආකාරය දකින්න ලැබෙනවා. වතාවකදි කෙනෙක් ට්‍රක් එකට මුත්‍රා කරාම ඒ මිනිහව විශේෂයෙන්ම ලුහුබැඳ ගිහින් මරලා දාන්න Creeper පෙලඹෙන්නෙ මෙන්න මේ ට්‍රක් එකට තියෙන ආදරේ නිසා. 


ඊලඟට Creeper ගේ බලයන් සහ හැකියාවන් ගැන කතාකලොත් මෙයා දඩයම් කරද්දි ගොදුරක් තෝරාගන්නත් එයාව විශේෂ කරලා ලුහුබැඳගෙන යන්නත් ඒ ගොදුරෙන් වහනය වෙන සුවඳ හොඳින් හඳුනාගන්නා ආකාරයට ඉතාම දියුණු ආඝ්‍රාණ හැකියාවක් Creeper ට තියෙනවා. ඒවගේම මෙයාට තමන්ගේ ගොදුර අතිශයින්ම බියට පත්වෙලා ඉන්න අවස්ථාවකදි ඒ බවත් ගොදුරෙන් වහනය වෙන සුවඳෙන් (Smell of fear) කියන්න පුලුවන් ලු. ඊලඟට මෙහෙම තෝරගන්න ගොදුරක් දඩයම් කරන්න යද්දි විවිධාකාරයේ ආයුධ රැගෙන යන්න Creeper කටයුතු කරනවා. ඒ අතරෙ සුලභවම දකින්න ලැබෙන දේවල් තමයි කැටයම් කරන ලද පිහි, විසිකර පහර දිය හැකි තරු ආකාරයේ ආයුධ සහ හෙල්ලයන්. මේ ඔක්කොම වගේ මෙයාගෙ ගොදුරු වල කොටස් යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඒවගේම එක්තරා අවස්ථාවකදි මෙයා මධ්‍යතන යුගයේදී භාවිතා උන ආකාරයේ දැවැන්ත පොරොවක් පවා පාවිච්චි කරනවා. ඒකත් ගොඩක් වෙලාවට ශතවර්ෂ ගාණකට පෙර මධ්‍යතන යුගයෙදි ගොදුරු කරගනිපු කෙනෙක් ගෙන් ලබාගත් ආයුධයක් වෙන්න පුලුවන්. 


තවත් විශේෂ දෙයක් තමයි මෙයා තමන්ගේ ගොදුරු කොටස් වලින් නිර්මාණය කරන ආයුධ සියල්ලක්ම වගේ ඒවා විසින්ම ස්වයංව චලනය වී පහරදීමට හැකියාව ඇති ඒවා වීම. හරියට ඒවා Creeper ගේ අතින් විසික් කලාම Creeper ට උවමනා ඉලක්කයම හොයාගෙන ගිහින් පහර දෙනවා වගේ. ඒ අතරමැද මොන දෙයක් තිබුනත් මේ ආයුධවල වේගය අඩුවීමක් වෙන්නෙම නැති තරම්. ඒවගේම මේවලට ආයෙම තමන්ගේ ස්වාමියා වෙතම ගමන් කිරිමට පවා හැකියාවක් තියෙනවා. ඉතින් දෙවෙනි ෆිල්ම් එකේදි මේ ආයුධවලට තියෙන Target එකක් හොයාගෙන ගොස් පහරදීමේ හැකියාව Creeper ටම එරෙහිව භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා. Creeper ගෙම පිහිය අරගෙන ඒක හාපූනයක් විදියට සකස් කරලා Creeper වම ටාගට් කරලා තියලා තියෙන විදිය මේ ෆිල්ම් එකේ අවසානයට දැකබලාගන්න ලැබෙනවා. මීට අමතරව තුන්වෙනි ෆිල්ම් එකේදි Creeper ට මනසින් තමන්ගේ ට්‍රක් රථය පාලනය කිරීමේ හැකියාවක් පවා තියෙනවා.


ඊලඟට ශාරීරික ශක්තිය අතින් ගත්තොත් Creeper කියන්නෙ මිනිසුන් කිහිප දෙනෙකුගේ ශක්තිය හා සමාන ශරීර ශක්තියක් තියෙන මෘගයෙක්. මේ ශක්තියෙන් මිනිසෙකුගේ ශරීරයේ කොටස් පහසුවෙන්ම ඉරා දමන්න, යකඩ තහඩු පවා පහසුවෙන් නමා දැමීමේ හැකියාවක් මෙයාට තියෙනවා. එසේම සාමාන්‍ය මිනිසෙකු වගේ කිහිප ගුණයක කාර්‍යශූර ගතියක් සහ නම්‍යශීලී ස්වභාවයක් Creeper ට තියෙනවා. තව තමන්ව වේගයෙන් වාහනයක ගැටිලා ඉන්පසුව කිහිප වතාවක්ම වාහනය සිරුර මතින් ධාවනය වූවාටත් පසුව තරමක තුවාල පමණක් ලබා ජීවිතය බේරාගැනීමට තරම් සුවිශේෂී දරාගැනිමේ හැකියාවක්ද Creeper ට තිබෙනවා. 


තව කතාකරන්න ඕන විශේෂම දෙයක් තමයි මෙයාගෙ තටු දෙක. මේ සුවිශාල තටු දෙක Creeper පිටතට ගන්නෙ අවශ්‍යම අවස්ථාවකදි විතරයි. ඒ එක්කො වේගවත් ලුහුබැඳයාමකට හෝ පලායාමට සිදුවන අවස්ථාවකදි පමණයි. ඉතින් මේ තටු දෙක කොයිතරම් ශක්තිමත් ද කිව්වොත් මේවා යොදාගෙන පහසුවෙන්ම මිනිසෙක්ව ඩැහැගෙන පියඹා යාමේ හැකියාවක් Creeper ට තියෙනවා. ඒවගේම අවශ්‍ය අවස්ථාවලදි ඉතාම වේගයෙන් ගමන් කිරීමට පවා Creeper මෙම තටු යුගල යොදාගන්නවා. ඒ වෙලාවට මෙයා උපරිම වේගයෙන් ධාවනය වෙන ට්‍රක් රථයක් හා සම සමව ගමන් කිරීමට තරම්ම වේගවත් බවත් කියන්න ඕන.


ඊලඟට මෙයාගෙ සුප්‍රසිද්ධ ට්‍රක් එක ගත්තොත් ඒකට විවිධාකාරයේ උගුල් ඇටවීමට හැකි අයුරෙන් වැඩිදියුණු කිරීමකට ලක් කරලයි තියෙන්නෙ. ඒවගේම අවශ්‍ය උනාම සාමාන්‍ය ට්‍රක් රථයකට ගමන් කල නොහැකි තරම් වේගයෙන් ගමන් කරන්න මේ ට්‍රක් රථයට හැකියාවක් තියෙනවා. ඊලඟට මේ ට්‍රක් එක ගැනත් කියන්න දේවල් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි Creeper මේ බය හිතෙන පෙනුමක් ඇති ට්‍රක් එක යොදාගන්න මූලිකම අරමුණක් තමයි ගොදුරු බියට පත් කිරීම. හිතන්නකො පාලු පාරකදි දිගටම තමන්ගේ පස්සෙන් එහෙම හොල්මන් පෙනුමක් තියෙන ට්‍රක් එකක් පන්නගෙන එද්දි කෙනෙක්ව නිරායාසයෙන්ම බයට පත් වෙන්න පුලුවන්කම තියෙනවා. අන්න ඒ වෙලාවට බය දැනෙන ප්‍රමාණය අනුව පහසුවෙන්ම Creeper ට තමන්ගේ ගොදුර කවුද කියලා වෙන්කර හඳුනාගන්න හැකියාව ලැබෙනවා. තවත් කාරණාවක් තමයි මේ ට්‍රක් එකේ තියෙන්නෙ සාමාන්‍ය නම්බර් ප්ලේට් එකක් නම් නෙමෙයි. ඒකේ ගහලා තියෙන්නෙ එක්තරා සුවිශේෂී වචනයක්. ඒ තමයි "BEATNGU". එහෙමත් නැත්නම් "Be Eating You" හෝ "Beating You" ලෙසයි. මේ ට්‍රක් එකට අවශ්‍ය වෙලාවල හෙල්ලයක් විදීමට, බොම්බ විදීමට, රථයට බොහෝ සමීප වෙන අයව මරා දැමීමට උල් වැනි දෑ විදීමට පවා හැකිවන ආකාරයට ට්‍රක් රථය උගුල් වලින් සන්නද්ධ කර තිබෙනවා. ඒවගේම මේක බොහෝදුරට උණ්ඩ වලට ප්‍රතිරෝධී ට්‍රක් රථයක්. තව මේ ට්‍රක් එක එලවන ගමන්ම Creeper තමන්ගේ මනසින් දෙන විධාන අනුව උගුල් වලින් පහර දීමටත් ආයෙම Reload කරගැනීමටත් ට්‍රක් එකට හැකියාව තියෙනවා. 


ඉතින් ඔන්න ඔය දේවල් තමයි Creeper ගැන කියන්න තියෙන්නෙ. මෙතෙක් ආපු ෆිල්ම් වල හැටියට Creeper කියන්නෙ ඇත්ත වශයෙන්ම තවමත් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි උන අමරණීය ජීවියෙක්. කිහිප වතාවකදිම මරණාසන්න තත්ත්වයට පත් උනත් ඉක්මනින්ම recover වීමේ හැකියාව නිසාම ඒ අවස්ථාවලදි පවා Creeper ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න කාටවත් බැරි උනා. ඒවගේම මෙයාගේ ආරම්භය කියන්නෙත් තවමත් සම්පූර්ණ අබිරහසක්. සමහරවිට ඉදිරියට එන ෆිල්ම් වලින් මෙයාගෙ Origin එක ගැනත් කතාකරාවි කියලා මම හිතනවා. අවසානයට කියන්න ඕන මේ Creeper කියන ජීවියාව සිනමාපටය වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නෙ පැරණි ඉංග්‍රීසී ජනකතා වල සඳහන් වෙන අත් තටු සහිත මෘගයෙක් වෙන Spring Heeled Jack නම් ජීවියාව පාදක කරගැනීමෙනුයි. 


ඉතින් ඔන්න ඕක තමයි Creeper ගේ කතාව. ෆිල්ම් ටික බැලුවත් ප්‍රශ්න තිබුන අයට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. මීට අමතර ප්‍රශ්න තියෙනව නම් පහලින් comment එකක් විදියට දාන්න. ඒවගේම කලින් ලිපි කියවන්න බැරි උනානම් ඒවත් comment එකක් විදියට දාන්නම්. බලන්න බැරි උන ලිපි තියෙනවනම් ගිහින් බලන්න. එහෙනම් තවත් මේ වගේ වෙනස්ම Movie monster කෙනෙක් ගැන විස්තරයකින් හමුවෙනකන් සමුගන්නවා. Page එක follow කරල දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!


#PRG

#තතුසිනෙරූ

Comments

Popular posts from this blog

1899 tv series sinhala review

Black adam movie sinhala explain